Wednesday, January 2, 2013

ලක්ෂ දහය...........!


මේ..ඇහුනද...? ඇහෙන් නැද්ද අර ලියුං කාරයද කොහෙද ඇවිත් බෙල් එක ගහනවා. පාන්දර නමයත් පහු වෙලා මේ මනුස්සයා තාම බුදි.
ඕයි..ගිහින් බලනවකෝ අර ලියුං කාරයද කොහෙද ඇවිත්. මම මේ යක්ස පැටව් එක්ක මැරෙනවා. ඔක්කොම කරන්න ඕනි මං. මේ මනුස්සය මෙතන පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදි. පොඩ්ඩක් ගිහින් බලනවකෝ අරක...


ම්ම්ම්ම්.....හ්ම්.....කෝ මගේ කමිසේ...

ඔය දාපු තැනක ඇති. මම අඳින්නයෑ.

හ්ම්.....ඉඳලා ඉඳලා නිවාඩුවක් දාපු දවසටවත් මේ ගෑනි නිදාගන්න දෙන්නැති හැටි අම්මපා. සතිය තිස්සෙම මැරිලා මැරිලා හම්බුකොරන්න හොඳයි. පොඩ්ඩක් නින්ද ගියොත් බෙල්ල කන්න හදනවා.
ආ...ලියුං උන්නැහේ....

මිස්ටර් ටී පී විල්බට් දල්පදාතු කියන්නේ මුන්නැහේද..?


ඔව් ඔව් මම තමයි. 

මෙන්න මෙතන අත්සන් කරානම්. මම මෙතන සෑහෙන වෙලා හිටියා. 

ආ...ඔන්න..කෝ දෙන්න..

මොකද්ද ඒයි......

ටෙලිග්‍රෑම් එකක්

කාටද...?

වෙන කාටද ඉතින් මට මිසක්. 

මොනවද තියෙන්නේ..කාට හරි කරදරයක්ද දන්නෑ..

"මුදල් චෙක් පත ඉක්මනටම ලැබෙන්න සලස්වමි.  ගුණේ."

මොකද්ද...චෙක් එකක්....!!!
කවුද ගුණේ කියන්නේ..මොකද්ද මේ චෙක් කතාව.


මම දන්නෑ. මාත් මේ කල්පනා කලේ ඕක තමයි. මම දන්න කිසිම ගුණයෙක් නෑ.

එහෙනම් ඔය ඉන්නේ. ඔය ටෙලිග්‍රෑං එකක් එවලා තියෙන්නේ ඔහේට. නැති වෙන්නේ කොහොමද...?

ඒක තමයි. ඒත් මම ගුණේ කියලා මනුස්සයෙක් දන්නේ නෑ. මේක වැරදිලාද දන්නෑ. 

වැරදිලා චෙක් එවයිද මනුස්සයෝ. අනික වැරදුනත් චෙක් එකක්නේ..
ආයිත් බලන්න එව්ව ඇඩ්රස් එක. ඔයාගේ නමමද තියෙන්නේ කියලා. 

ඔව් මගේ නම තමයි තියෙන්නේ. ඒත් කවුද මේ ගුණේ..

හොඳට කල්පනා කරන්න. මම හිතන්නේ මේ වැඩ රාජකාරි අස්සේ ඔයාට අමතක වෙන්න ඇති. ඔයා කාගෙන් හරි ණයක්වත් ඉල්ලුවද...?

ඉල්ලන්න ඉන්න හැම කෙනාගෙන්ම ණයට අරං දැන් මට ණයක් ගන්න කෙනෙක් ඉතුරු වෙලා නෑ. මේක නම් වැරදීමක් වෙන්න ඕනි. 

නෑ නෑ වැරදිලා නෙවෙයි. ඕක ඔයාටමයි එන්න ඇත්තේ. ඔයාට දැන් හරියට සිහිකල්පනාව අඩු වෙනවා ඇති. අනේ දල්පේ අපි ඔය චෙක් එක ආවාම ඔයාට බෙහෙත් ටිකක් ගන්න යමු. 

ඔහේට පිස්සුද ගෑණියේ. කවුද මට චෙක් එවන්නේ. අනික මට ඇති පිස්සුවක් නෑ. මම යනවා තැපැල් කන්තෝරුවට. ගිහින් මේක බාර දෙනවා.

මේ...ඔහේ දැන් ඕක බාර දෙන්න ගියොත් මම යනවා අපේ අම්මලෑ ගෙදර. නිකන් ලැබෙන දේ ගන්න මේ මනුස්සයට පිනක් නෑ. අනේ අම්මපා මං මෙතන උදේ ඉඳන් මැරෙනවා. මේ මනුස්සයට ඒවයේ ගානක් නෑ. කනේ තිබ්බ කරාබු දෙක දැන් උකසට සින්න වෙන්නම ඔන්න මෙන්න. හෙට අනිද්දට ගෙට වෙන්න කෙල්ලෙකුත් ඉන්නවා. මේ මනුස්සයාට නිකන් ලැබෙන දේ ආපහු බාර දෙන්න හදනවා. මේ......කොහෙද ඔය යන්න හදන්නේ..?

මම යනවා ඔෆිස් එකට.

ඇයි දැන් ඔය ඇගට අමාරුයි කියලා නිවාඩු දාලා නේද ගෙදර නැවතුනේ. ඒ පාර මොකද ආයි යන්න හදන්නේ.

ඔහේගේ අඬෝවැඩියාවත් එක්ක මේ දෙර ඉන්නද මම කියන්නේ. මම යනවා. ගිහින් හොයාන්නවා මොකාද මේ ගුණේ කියලා.


*********

ඇත්තටම කවුද මේ ගුණේ...මිනිහා මොකටද මට චෙක් එකක් එවන්න හදන්නේ..ඒ චෙක් එක කීයක චෙක් එකක්ද දන්නෑ..
බලමු මම දන්න ගුණේලා ගැන.

ඉස්සර ගුණපාල කියලා යාළුවෙක් හිටියා. මට මතක විදිහට මීට අවුරුදු පහලොවකට විස්සකට ඉස්සර මිනිහා රට ගියා. අනික මෙහෙම සල්ලි එවන්න තරම් යාළුකමක් එයාගෙයි මගෙයි තිබුනේ නෑ. ආ...මගේ ඉස්කෝලේ ඉදන් යාළුවා ගුණදාස. සැක් මට මිනිහව අමතක උනානේ. ඒ කාලෙත් මම මිනිහගෙන් හදිස්සියට අතමාරු අරගෙන් තියනවනේ. ඒත්....ඒත් දෙයියනේ ඒ මනුස්සයා නැතිවෙලා දැන් අවුරුද්දකටත් කිට්ටුනේ. මාත් ගියානේ මල ගෙදර. දෙයියනේ මම මිනිහා මැරෙන්න කලින් ඉල්ලුව ණයක්වත් මිනිහා මැරැණට පස්සේ එව්වවත්ද..මාත් මොනවා හිතනවද මන්දා මැරිච්ච මිනිස්සු චෙක් එවයිද...මට ගුණේ කියලා කිසිම එකෙක්ව මතක් වෙන්නෑනේ. මං දැන් මොකද්ද කරන්න ඕනි. ඔය චෙක් එක එන්නැතෑ. හරි විස්තරයක් නොතිබුනොත් මම ඕක ගිහින් තැපැල් කන්තෝරුවට දෙනවා. ඔව් ඒක තමයි හොඳම විදිහ. තමන්ට අයිති නැති දේවල් ගන්න එපා කියලා බුදුහාමුදුරුවොත් කිව්වනේ. ඔව් මම එහෙම කරනවා. මේ චෙක් එක කීයක් වෙයිද..? රුපියල් දාහක්..පන්දාහක්..එහෙම නැත්නම් දහදහාක්..ලක්ෂයක් වෙන්නත් පුළුවන්. සමහරවිට ලක්ෂ දහයක් උනොත්.......දෙයියනේ..බැරිවෙලාවත් චෙක් එක ලක්ෂ දහයක් උනොත්...මම ඒක ආපහු බාර දෙනවද...හතර අතට වෙච්ච ණය ටික වෙන්නම මට ලක්ෂ තුන හතරක් යනවා. තව ලක්ෂ හතරක් විතර තිබ්බොත් මේ හදාගෙන යන ගේ කෑල්ල යන්තම් ඉවර කරගත්තෑකි. මාසෙකට සැරයක් හම්බවෙන මේ සොච්චමෙන් ගෙවල් හදන්න පුළුවන්ද. පොඩි එවුන් දෙන්නව ඉස්කොලේ යවන්න...සින්න වෙන රත්තරං බඩු බේරාගන්න...මට ඔළුව උස්සන්නනම් ලක්ෂ  දහයක්වත් ඕනි. එහෙම තියෙද්දි මේ චෙක් එක ලක්ෂ දහයක් උනොත්  මම ඒක ආපහු දෙනවද..ඒත් ඒක මට අයිති එකක් නෙවෙයිනේ. සමහරවිට ඕක මම දන්න කෙනෙක්නම් එව්වේ...මටම එව්ව එකක්නම්...දෙයියනේ එහෙම උනොත්නම් හැමදේටම හොඳයි. ඒත් ඇත්තටම එහෙම වෙයිද. කවුද මට ලක්ෂ දහයක් දෙන්න ඉන්න මම අඳුරන කෙනා. සල්ලි ගන්න පුළුවන් හැම එකාගෙන්ම සල්ලි අරගෙන හැමෝම ඉන්නේ මාව කන්න බලාගෙන. මගදි මිනිස්සු දහයක් හම්බ උනොත් අටදෙනෙක්ම පොලී සල්ලි ඉල්ලනවා. එහෙව් එකේ කවුද මට සල්ලි දෙන්නේ. මොනවද මං මේ හිතන්නේ...මටත් පිස්සුද මන්දා..කවුද මට කිව්වේ ලක්ෂ දහයක් චෙක් එකක් එන්නේ කියලා. ඒක මට හිතිච්ච දෙයක්නේ...

මේ..මහත්තයා..කිරුළපනට නේද ටිකට් ගත්තේ. දැන් තුම්මුල්ලත් පහුවෙලා. බහින්නැද්ද.? ලැජ්ජා නැද්ද මහත්තයෝ මගට ටිකට් අරං ගත්තා වගේ දෙගුණයක් විතර යන්න. හොඳට කලිසං ඇදන් යනවා. බොරුවට පේන්න මගට ටිකට් අරං ඊට පස්සේ දන්නෑ වගේ යනවා. මුං වගේ හොරු.

දෙයියනේ බහින තැනත් පහුවෙලා. මේ චෙක් එකක් හින්දා මගේ ඇත්තටම ඔළුව අවුල් වෙලාද මන්දා. කොන්දොස්තර කෑ ගහනවා විලිලැජ්ජාවයි. දැන් ඉතින් තව බස් එහෙක ආපහු එන්න එපැයි.


*********

ආ...දල්පදාතු මහත්තයා.....අම්මේ...මූණේ තියන සිරියාව. දැන් ඉතින් හරි ගිහින් කියලා ආරංචියි. 

ඇයි පියදාස. මොකද්ද ඒ කතාව. කවුද කිව්වේ මට හරි ගියා කියලා. 

කවුරුත් කියන්න දෙයක් නෑ දල්පදාතු මහත්තයා ඔපීසියේ හැමෝම දන්නවා දල්පදාතු මහත්තයට හරිගියා කියලා. අපිටත් සලකන්න ඕනි දල්පදාතු මහත්තයා. මං ඉතින් පියන් උනාට මහත්තයත් එක්ක ඕනිම දේකට ඉන්නවනේ. ඒක නෙවෙයි මහත්තයා අද නිවාඩුයි කිව්වා නේද. මොකෝ මේ අවේලාවේ මේ පැත්තේ. මහත්තයා මේ සුභ ආරංචිය ඔපීසියේ කට්ටියට කියන්නද ආවේ. කියන්න දෙයක් නෑ මහත්තයෝ හැමෝම දන්නවා. ඕං කට්ටිය එහෙ එන්නත් එක්ක කතා වෙනවා මේ සන්තෝසෙට. 

පියදාස මේ මොනවා කියනවද මන්දා. මොකක් ගැනද කියන්නේ ඔය. 

අන්න අන්න ඉතින් දල්පදාතු මහත්තයත් මටනේ කොලේ වහන්නේ. මම ඕවා දැනගත්තා කියලා මහත්තයගෙන් සල්ලි ඉල්ලන එකක්යෑ. දල්පදාතු මහත්තයට හරිගියා කියන්නේ ඉතින් මට හරි ගියා වගේ තමයි. මම එන්නම් මහත්තයා අමරසේන මහත්තය ෆයිල් වගයක් ඉල්ලුවා. තව පරක්කු උනොත් බැනුම්..

මේ මනුස්සය මේ මොනවා කියනවද මන්දා. මට හරිගිය කතාව මොකද්ද. අද උදේ ඉඳන්ම වෙන්නේ ඔළුව අවුල් වෙන දේවල්මයි. 

හා..ලෝ මිස්ටර් දල්පදාතු. අද නිවාඩු නේද. මොකෝ අද මේ පැත්තේ. අපි මේ හවස එහෙ එන්නත් එක්ක කතා වෙලා හිටියේ.

හලෝ මිස්ටර් අතපත්තු. ඒ මොකද අප්පේ මේ හදිස්සියෙම මාව බලන්න එන්න හිතුනේ. අනික මම ඊයෙත් වැඩට ආවනේ. අද නිවාඩු දරම්මට හෙටත් එනවා වැඩට. ඔච්චරටම එක දවසක් මාව නොදක ඉන්න බැරි හේතුව මොකද්ද.

එහෙම නෙවෙයි මිස්ටර් දල්පදාතු. දල්පදාතු මහත්තයට හරිගියා කියන්නේ ඉතින් අපිට හරිගියා වගේනේ. නැද්ද මිස්ටර් දල්පදාතු. යාළුවෝ කියන්නේ දුකේදි වගේම සැපේදිත් එකට ඉන්න ඕනි කට්ටිය. මම පොඩ්ඩක් එළියට යනවා මිස්ටර් දල්පදාතු. හවස් වෙනකම් ඉන්නවනේ ඔෆිස් එකේ. මම ඉක්මනට එන්නම්. ඕකේ. මම එනකම් යන්න එපා..

මේ මිනිස්සුන්ට පිස්සුද ඇයි මේ හැමෝම මට හරි ගියා කියන්නේ. නැත්නම් මට පිස්සුද. අද නම් මම නැගිටලා තියෙනනේ වැරදි පැත්තෙන් වගේ. 

හා..නේ මිස්ටර් දල්පදාතු....අපි මේ ඔයා ගැනමයි කතා කර කර හිටියේ. ඔයා නම් මාර ලකී මිස්ටර දල්පදාතු. ඇත්තමයි. අද අපි හවස ඔයාලගේ ගෙදර එන්න හිටියේ. 

ඇයි..ඇයි මිසිස්  වනිගරත්න. මොකද්ද හදිස්සිය.

අනේ...දන්නෑ වගේ අහන හැටි. ඔන්න මිස්ට දල්පදාතු අද අපි හැමෝගෙම ලන්ච් එක මිස්ටර් දල්පදාතු ගානේ. මේ සතුටට අපිට මොනවා හරි ඕනිමයි. 

මො..මොකද්ද මිසිස් වනිගරත්න...හැමෝටම ලන්ච් එක මගේ ගානේ....!!

අයියෝ මිස්ටර් වනිගරත්නට දැන් ඕක සිම්පල්නේ. අපිට හැමදාම ලන්ච් එක දෙන්න බැරියෑ දැන් මිස්ටර් දල්පදාතුට.

මම මේ ආවේ ඔෆිස් එකටද නැත්නම් පිස්සන් කොටුවකටද. මොනවද අද මේ හැමෝටම වෙලා තියෙන්නේ. අද මාව දකින දකින මනුස්සයා හොඳට කටපුරා හිනා වෙනවා. මට හරිගිහින්ලු. දැන් ලන්ච් එකක් ඉල්ලනවා. සන්තකේටම රුපියල් දාහයි තියෙන්නේ. ඒකෙන් කොහොමද මුන්ට කන්න අරන් දෙන්නේ. අනිත් එක ඇයි මම මේ හැමෝටම කන්න අරන් දෙන්නේ. මොකෝ මට සුවිප් එකක් ඇදිලෑ. 

අන්න මිස්ටර දල්පදාතුට ලොක්කා කතා කරනවා. මං හිතන්නේ සුබ පතන්න වෙන්න ඇති. ඉක්මනට යන්න. 

ඒ මොකටද පියදාස ලොක්කා මට සුබපතන්නේ. මට මොනවා ලැබුනටද.

ඕකනේ ඉතින් මෙච්චර දේවල් ලැබිලත් බබා වගේ රඟපානවනේ. ඉක්මනට යන්න ලොක්කා බලාගෙන ඇති.

ආ...මිස්ටර් දල්පදාතු..එන්න එන්න මෙහෙන් වාඩි වෙන්න. කොහොමද ඉතින් මට ආරංචි උනා අද නිවාඩු දාලත් ඔෆිස් එක පැත්තේ ඇවිත් කියලා. එහෙම තමයි වගකිවයුතු නිලධාරින්. රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියනවනේ..

තැන්ක්යූ සර්. ගෙදර ඉන්නත් කම්මැලි හින්දා දවල් වෙලා හරි එන්න කියලා හිතුනා.

බොහොම හොඳයි මිස්ටර් දල්පදාතු. අනික අද වගේ දවසක මිස්ටර් දල්පදාතු එන්නම එපැයි නේද මේ පැත්තේ. ඉතින් දැන් කොහොමද පොඩි එකා මේ සැරේද ශිෂ්‍යත්වෙ..?

නෑ සර් ලබන අවුරුද්දෙනේ. ලොකු කෙලී නම් දැන් හත වසරේ. 

ආ...ඒක හොඳයි. ළමයින්ට හොඳට උගන්නන්න ඕනි මිස්ටර් දල්පදාතු. ඒවා ඉතින් අපේ යුතුකම්නොවැ නේද..

ඔව් සර් මාත් මේ පුළුවන් තරම් මැරෙන්නේ පොඩි උන් දෙන්නා හින්දා තමයි.

දැන් නම් ඉතින් මිස්ටර් දල්පදාතුට ඕවා එච්චර අමාරු වෙන එකක් නෑනේ නේද....

ඒ කිව්වේ සර්..

නෑ ඒකෙන් වැඩක් නෑ මම මේ මිස්ටර් දල්පදාතුට එන්න කිව්වේ බොහොම පිං අතේ වැඩකට. අර අපේ සුබසාදක සංගමෙන් හැම සැරේම අසරණ දරුවන්ට පොත් පත් ලබා දෙන වැඩසටහන තියනවනේ. අන්න ඒක මේ සැරෙත් බොහොම ඉහලින් තියන්න සූදානම් කරලා තියනවා. ඉතින් අපි මේ සැරේ කතා වුනේ අපේ දල්පදාතු මහත්තයවත් මුල් කරගෙන මේ වැඩේ ටිකක් ඉහලින් කරන්න.
මොකද කියන්නේ මිස්ටර දල්පදාතු.

අනේ ඒක කොච්චර දෙයක්ද මාත් මට පුළුවන් තරමක් දෙන්නම්. ඒත් ඉතින් මාව මුල් කරගෙන කිව්ව කතාව මට තේරුනේ නෑ සර්. 

එහෙම නෙවෙයි මිස්ටර් දල්පදාතු අපි මේ මිස්ටර් දල්පදාතුට හරිගිය වෙලාවේ එකෙන් වාසි න්වා කියලා හිතන්න එපා. ඒත් ඉතින් මේක බොහොම පිං අතේ වැඩක්නේ. අපේ මේ වැඩේට තව පනස්දාහක් විතර අඩුයි. ඉතින් ඒකයි මම කිව්වේ අපි මිස්ටර් දල්පදාතුව මුල් කරගෙන මේ වැඩේ කරමු කියලා.

අනේ සර්..මම මේ දහඅතේ ණය වෙලා ඉන්න මනුස්සයා මම කොහොමද සර් රුපියල් පනස්දාහක් දෙන්නේ..

ඇයි මිස්ටර් දල්පදාතු එහෙම කතා කරන්නේ. මේක කොච්චර පිං සිද්ධ වෙන වැඩක්ද...?

හරි සර් මට තිබුනනම් මම නොදී ඉන්නෑ. ඒත් දෙයියනේ මම කොහෙන් දෙන්නද....?

ඇයි මිස්ටර් දල්පදාතුට රුපියල් ලක්ෂ දහයක චෙක් එකක් ලැබුනේ. 

දෙයියනේ...සර්..මොකද්ද මේ කියන්නේ. කොහෙන්ද මට ලක්ෂ දහයක චෙක් එකක්. 

හරි හරි මම මිස්ටර් දල්පදාතුට බල කරන්නෑ. ඒක දල්පදාතුගේ කැමැත්තක්. කොහොම හරි කමක්නෑ අර ඔෆිස් එකෙන් ගත්ත ලෝන් එක ඉක්මනට ගෙවලා ඉවර කරනවනම් හොඳයි..හ්ම් දැන් යන්න..

අනේ..සර්...මං..මං යන්නම් සර්...

දෙයියනේ..මොකද්ද මේ ලක්ෂ දහයේ චෙක් කතාව. ඒ....අර උදේ ආව ටෙලිග්‍රෑම් එකද...ඒත්..ඒත් ඒක අද උදේනේ ආවේ. අනික කවුද මේ මිනිස්සුන්ට ලක්ෂ දහයක චෙක් එකක් මට ඇදුනා කිව්වේ. ඒත්....මට අද බස් එකේ එද්දි කල්පනා උනේ..ඒක ලක්ෂ දහයක චෙක් එකක් උනොත් කියලනේ. මේ ඩිංගට ඒක මේ ඔෆිස් එකේ අය දැනගත්තේ කොහොමද. මට ටෙලිග්‍රෑම් එක ඇවිල්ලත් තාම පැය තුනකට වඩා නෑ. ඒත් ඔෆිස් එකේ හැමෝම දන්නවා.

අර මිස්ටර් දල්පදාතුට...ලක්ෂ දහයක චෙක් එකක් ලැබිලලු...පුදුම වාසාවක් නේද...අපිට නෑනේ එහෙම වාසනාවක්...

ඒක තමයි අනේ. පොඩ්ඩක් මිනිහට හොඳ මූණ පෙන්නං ඉන්න ඕනි අපිටත් වාසියක් ගන්න. නේද..

ඒකනම් ඇත්ත..ස්ස්ස් ස්ස් ඔන්න එනවා..

හැමෝම මම දිහා බල බල හොරෙන් කුටු කුටු ගානවා. යන්තම් ඇහෙන ඒවෑ කතා වෙන්නේ මට ලක්ෂ දහයක චෙක් එකක් හම්බවෙලා කියලා. ඒත් තාම මට එහෙම එකක් හම්බ උනෙත් නෑනේ. කොහොමද මේක හැමෝම දැනගත්තේ. හැමෝම මං දැක්කාම අද කටපුරා හිනා වෙනවා. මාත් එක්ක ජීවිතේට කතා නොකරපු අය ඇවිත් කතා කරනවා. මොකද මේ හැමෝටම උනේ. තවනම් මෙතන ඉන්න බෑ. මම යනවා ගෙදර...


*********

ආ..මිස්ටර් දල්පදාතු...ගෙදර යනගමන් වගේ...

අහ් ඔව් ඔව් දැන් මේ ඔෆිස් එකේ ඉඳලා යන ගමන්නේ...ඒත් මට මේ මිස්ටර්ව එච්චර නිච්චි නෑනේ...

ඒකට මොකෝ මිස්ටර් දල්පදාතු. ඔබතුමානම් මාව දන්නැතුව ඇති මම හේරත්. අර පාරෙන් එහා පැත්තේ ඔෆිස් එකේ වැඩ කරන්නේ. 

ඉතින් මහත්තයා කොහොමද මාව දන්නේ...?

මම විතරක් නෙවෙයි මිස්ටර් දල්පදාතු මේ අපේ ඔෆිස් එකේ හැමෝම මිස්ටර් දල්පදාතුව දන්නවා. ලක්ෂ දහයක චෙක් එකක් ලැබුනා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයිනේ නේද මිස්ටර් දල්පදාතු. මං එහෙනම් ගිහින් එන්නම් පස්සේ හම්බවෙමු. අපිවත් මතක තියා ගන්න හොඳේ....

මොකක් ලක්ෂ දහයක්......!!!!

මොකද්ද මේ වෙන්නේ..මම කවදාවත් දැකපු නැති මිනිස්සුත් මාව දන්නවා. මේ හොඳටම වහින වෙලේ මට දාඩියත් දානවා. එක්කෝ මේ ඔක්කොම මගේ ඔළුවේ විකාර. නැත්නම් මේ හැමෝටම පිස්සු. තේකක්වත් බොන්න ඕනි ගිහින්. ආ අර තියෙන්නේ තේ කඩයක්.

ආ....එන්න දල්පදාතු මහත්තයෝ...මොනවද කන්නේ...දැන්නම් දවල්ට කන්න බෑනේ. ඒත් මොනවා හරි කාලා තේකක් බොමු. මොනවද ගෙන්නේ...

මුන්නැහේ කොහොමද මාව දන්නේ. මම හිතන්නේ මම මේ කඩේට ආවෙම අද...

ඔව් ඔව් මීට කලින්නම් දල්පදාතු මහත්තයා මෙහෙ ඇවිත් නෑ තමා...ඉතින් කියන්නකෝ මොනවද කන්නේ මොනවද බොන්නේ..

මට සීනි අඩුවෙන් ප්ලේන්ටියක්...

අයියෝ ප්ලේන්ටි මොකටද..ළමයෝ මේ දල්පදාතු මහත්තයට සීනි අඩුවෙන් හොඳ ස්ට්‍රෝං ටී එකක් ගේනවා..

ආ...බොන්න දල්පදාතු මහත්තයා..ඉතින් මොකෝ මේ වැස්සේම. වැස්ස පායනකම් ටිකක් ඉඳලම යමු.

අහ්...නෑ මුදලාලි ඉක්මනට ගෙදරට යන තරමට හොඳයි. දන්නවනේ මේ වෙලාවට ප්‍රයිවට් බස් වල පොල් පටෝලා වගේනේ යන්නේ. දැම්ම ගියේ නැත්නම් අද ගෙදර යනකොට තවත් රෑ වෙනවා.

ඒකනම් ඇත්ත මහත්තයෝ. මුන්ට කිසි හිතක් පපුවක් නෑ. සල්ලි ගැන විතරයි හිතන්නේ.

ඒක නම් ඇත්ත මුදලාලි..මම එහෙනම් ගිහින් එන්නම්...කීයද මගේ ගාන..

අයියෝ සල්ලි ඕනි නෑ දල්පදාතු මහත්තයා. අපිට ඕවා පස්සේ බේරා ගන්න බැරියෑ...

එහෙම කියන්න එපා මුදලාලි. මේ කාලේ හොඳට දන්න අඳුරණ අයගෙනුත් හැමදේම සල්ලි වලටම කරන කාලේ මේ නොදන්න මගෙන් සල්ලි ගන්නැත්තේ මොකද...?

දල්පදාතු මහත්තයට පිස්සුද..මට පුළුවන්ද මහත්තයගෙන් සල්ලි ගන්න. අනික දැන් ලක්ෂපතියෙක්නේ මහත්තයා..මට නැති බැරි වෙලාවක මහත්තයගෙන් කීයක් හරි ඉල්ලන්න පුළුවන්නේ නේද...

මොකද්ද මුදලාලි ඒ කතාව මට තේරුන්නෑ...

ඇයි මහත්තයෝ මහත්තයට ලක්ෂ දහයක චෙක් එකක් හම්බ උනේ...

මොකක් මුදලාලි....මම යනවා...මෙන්න මගේ සල්ලි ....ඉතුරු තියාගන්න...

මුන්ටනම් ඇත්තටම පිස්සු......කොහේ තියන චෙක් එකක් ගැනද මුං මේ කියවන්නේ...අනික කොහොමද මුං මගේ නමයි හැමදේම දන්නේ....දැන්නම් ඔළුව පැලෙන්න වගේ....මට මේ මොකක් වෙනවද...ආ....බස් එකක් එනවා...ඉක්මනට මේකේ නැගලා ගෙදර යන්න ඕනි...

ආ...නගින්න දල්පදාතු මහත්තයා....අයියේ පොඩ්ඩක් ඉන්න මේ දල්පදාතු මහත්තයා නගිනකම්...

මොකක්...බස් එකේ කොන්දොස්තරත් මගේ නම් දන්නවා...ඒ කොහොමද...මල්ලි මල්ලි මේ සල්ලි මට ටිකට් එකක්...

පිස්සුද දල්පදාතු මහත්තයා මොන ටිකට්ද...මහත්තයගෙන් සල්ලි ගන්න පුළුවන්ද...ඉන්න මං ඉක්මනටම සීට් එකක් අරන් දෙන්නම්...ඔන්න ඔය පොඩි ළමයෙක් උකුලේ තියන් ඉන්න නෝනා ගාව ඉන්නකෝ. එයා ඊලග හෝල්ට් එකේ බහිනවා...එතනින් වාඩි වෙන්න...

අදනම් දවසේ මොකක් හරි වෙනසක් තියනවා...වෙනදට රුපියලටත් මරාගන්න කොන්දොස්තර සල්ලි එපා කියනවා ඊටත් වඩා මට ඉඳගන්න සීට් එකකුත් හොයලා දුන්නා...ඇයි මේ....

පුදුම වැස්සක් නේද මිස්ටර් දල්පදාතු..

ආ...මොකද්ද...ඔව් ඔව් ඒක තමයි....ඒත් මේ මිස්ටර්.....

ආ...මම පෙරේරා..මිනින්දෝරු දෙපාර්තමේනුතවේ වැඩ කරන්නේ...

මට මිස්ටර් පෙරේරාව මතක නෑනේ...සමහරවිට කොහේදි හරි හම්බ වෙලා ඇති.

ඒක ඇත්ත මිස්ටර් දල්පදාතු මේ සසර ගමනෙදි අපි හැමෝම නෑදෑයෝ වෙලා ඉන්න ඇති. සමහරවිට මම මිස්ටර් දල්පදාතුගේ ගිය ආත්මේ මල්ලිද කවුද දන්නේ..හෙහ් හෙහ්..

ඒත් මට තාම මිස්ටර්ව මතක නෑනේ...

මාව දන්නැතුව ඇති මිස්ටර් දල්පදාතු ඒත් අපි හැමෝම මිස්ටර් දල්පදාතුව දන්නවා. ලක්ෂ දහයක චෙක් එකක්  ලැබුන කෙනොව නොදන්නේ කවුද නේද....අපිත් ඉතින් කවද දන්නේ ආත්මගත නෑදෑයොද කියලා. හදිස්සියකට අපි ගැනත් බලන්න මිස්ටර් දල්පදාතු..

මොකක්...මොන චෙක්ද...මොන විකාරයක්ද මේ....ඔය ඉස්සරහා නවත්තන්න..මම බහිනවා..බැහැලා පයින් යන එක හොඳයි මීට වඩා...බහිනවා...හෝව්...පොඩ්ඩක් ඉන්න.....

ආ..මිස්ටර් දල්පදාතු....මොකෝ මේ පයින්ම...දැන් ලක්ෂපතියෝ නේද...ඔහොම පයින් යන්න හොඳද....

අහ්..නෑ මම ඔහේව දන්නෑ..මට පාඩුවේ යන්න දෙනවා...මම යනවා....

ඇයි හැමෝම මගේ පස්සේ එන්නේ...මුං ඔක්කොම මේ මාව දන්නවා දන්නවා කියලා කියන්නේ මගේ සල්ලි කඩා ගන්න. නෑ මම එකෙක්ටවත් මගේ සල්ලි දෙන්නෑ...ඔව් මගේ ලක්ෂ දහයෙන් එක තඹ සතයක් මුංට දෙන්නෑ. මට නැති කාලේ මුං එකෙක්වත් හිටියද...දැන් තමයි නැති නෑදෑ යාළුකම් හදාගෙන එන්නේ.. නෑ මං මොකටද කාටවත් බය වෙන්නේ..මේවා මගේ සල්ලි. කාටවත් බෑ ඒවා ගන්න..හෙහ් හෙහ්....ඒ උනාට උං උදුරා ගත්තොත්...නෑ එහෙම වෙන්නෑ...මං එකෙක්ටවත් මගේ සල්ලි උදුරා ගන්න දෙන්නෑ. මං ඒ සල්ලි අරං රට යනවා. ඔව් මේ හැමදේම විකුණලා පවුල පිටින්ම යනවා. දැන්නම් මහන්සියිත් එක්ක...ගේත් කිට්ටුයි..අර කවුද අර ගෙදර පිරිලා ඉන්න සෙනග...අර කවුද...ම්ම්ම්ම්... මාත් එක්ක ජීවිතේට කතා කරන්නෑ කියලා වෛර බැඳන් ඉන්න අයියා නේද...එතකොට අර අරගොල්ලන්ගේ අක්කලෑ දුවලා පුතාලා...එතකොට අර ඉන්නේ මගේ පරණ යාළුවෝ...ඉස්කෝලේ කාගේ මාත් එක්ක රණ්ඩු උන අයත් ඉන්නවා...දෙයියනේ....සුමනා....මම ඒ කාලේ කොච්චර ආදරේ කලාද....මගේ ගොඩක් දේවල් කඩාකප්පල් උනේ සුමනට ආදරේ කරන්න ගිහින්...ඉස්සර මං මොනතරම් දේවල් කලාද මෙයා වෙනුවෙන්. ඒත් අන්තිමට සල්ලි නැති හිඟන්නෙක් එක්ක ජීවත් වෙන්න බෑ කියලා මාව දාලා ගියා....මෙන්න එයත් ඇවිත්..ඒ කාලෙට වඩා දැන්නම් ටිකක් වයස පාටයි...ඒත් තාම ලස්සනයි...අර කවුද...අපේ ඔෆිස් එකේ කට්ටිය එයාලා කොහොමද මටත් කලින් ආවේ....ඇයි මේ හැමෝටම මාව මතක් වෙලා.....තාම කවුරුත් මාව දැක්කෙ නෑ....අනේ ඇයි මේ...අවුරුදු ගානක් අත ඇරලා දාපු මාව හොයන් අවේ මෙයාලා......ශුවර් එකටම මගේ සල්ලි ගන්න ඔව් මුං හැමෝටම ඕනි මගේ සල්ලි...නැතුව මාව බලන්න නෙවෙයි මුං ආවේ...හැමෝම දැනගන්න ඇති මට ලක්ෂ දහයක චෙක් එකක් ලැබෙනවා කියලා...බෑ මට බෑ ඒක මුන්ට දෙන්න...මම යනවා...මම ආපහු යනවා....කොහේ හරි යනවා....මට බෑ ඒක මුන්ට දෙන්න..ඔව් මට බෑ ඒක මුන්ට දෙන්න...නෑ මම දෙන්නෑ එකෙට්ටවත්ම ඒක...ඒක මගේ....ඔව් ඒක මගේ විතරමයි....අනේ......මගෙන් උදුරා ගන්න එපා ඒක.....


*********

ඔව් ඩොක්ටර්...මම ඩොක්ටර් අහපු හින්දා ඔය ටික කිව්වේ...මේ අවුරුදු ගානම..මේ ඉස්පිරිතාලේ නැවැත්තුව දා ඉදන්ම  ඔය මනුස්සයා එයාගේ සල්ලි ගන්න එනවා චෙක් එක ගන්න එනවා කිය කිය කෑ ගහනවා. අපිටත් අමාරුයි පාලනය කරන්න ගොඩක් වෙලාවට මොනවා හරි බෙහෙතක් විඳලා තමයි කන්ට්‍රෝල් කරගන්නේ. එත් කට්ටිය එනවා කියලා කෑ ගැහුවට මෙයාව මෙහෙ නවත්තලා ගියත් හරි මෙයාගේ නෝනවත් දරුවොවත් කවදාවත්ම ඇවිත් නෑ මෙයාව බලන්න....




56 comments:

  1. බුදු අම්මෝ කතාවනම් පට්ට දිගයි ඒත් රසයි මට ඒ මිනිහා ගැන දුකයි....පවු අහිංසකයා...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...සල්ලි හින්දා ගොඩක් මිනිස්සුන්ට වෙන්නේ ඕක...

      Delete
  2. මේක දිග වැඩි නැද්ද බන්... දැන් කියවන්න වෙලාවක් නෑ...පස්සෙ වෙලාවක ආයෙත් එන්නම්...

    ReplyDelete
  3. කතාව දිග වැඩ් අප්පා...මම දෙසැරෙකට බැලුවෙ..කලින් ඇවත් මුල ටික බැලුවා,පස්සෙ ආයෙ බැලුවා දැන් ආවේ ක්මෙන්ට් කොරන්න..

    ReplyDelete
  4. අම්මපා මාත් බැලුවා මේ මොකක්ද කියලා. පික්ෂු තරැවා. හිකිස්

    ReplyDelete
    Replies
    1. හැබෑට ඔය පික්ෂු කතාව අදද දන්නේ ඈ...

      Delete
  5. හප්පේ දිගම දිග කතාවක්. හැබැයි හොඳයි.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කේ....

      Delete
  6. ඔව් කුතුහලය පිරුන ‍රස කතාව..දිග වැඩිනම් තමයි...බැරිම තැන මැද හරිය අතහැරල මම අන්තිමට ගියා

    ReplyDelete
    Replies
    1. හිකිස් හාකෝ ඈ... :)

      Delete
  7. කතාව දිග වුණත් ඉතාම ආසාවෙන් කුතුහලයෙන් යුතුව කියෙව්වා. නියමයි...අගට යනකම් හිතාගන්නවත් බෑ මොකද වෙන්නේ කියලා. දක්ෂ වියමනක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... :)

      Delete
  8. සල්ලි මිනිස්සුන්ව පිස්සන් කරනව. :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් සම හරක්ව...

      Delete
  9. සුපිරි නිර්මාණයක් තරුවෝ.. නියමයි..

    ReplyDelete
    Replies
    1. එල ඈ...තැන්කිව්...

      Delete
  10. දිග නම් වැඩියි සුට්ටක්. කතාව නම් එල ඒ උනාට ඈ

    ReplyDelete
  11. ඕක තමයි අපෙ ජීවිතෙ ඇත්ත කතාව.. අතේ සතේ නැතිදාට පවුලෙ උනුත් අහක බලනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්....ගොඩක් අයගේ මේවගේ තමයි....

      Delete
  12. හෑ......... මෙන්න මෙයා කතාවක් ලියලා... දිග වැඩි වුනත් නියමයි... උපරිම හොදට ලියලා...:)

    ReplyDelete
    Replies
    1. ඈ....අම්මටසිලි මම කතාවක් ලියලා නේන්නම්.. :)
      හී හී තැන්කිව් ඈ....

      Delete
  13. මට මතක් උනේ The Box ෆිල්ම් එක නේ.. හි හි.. ( ඒ වගේයි නම මතක... හි හි..) කතාව මේකම නොවුනත් මේ වගේ කතාවක් තමයි ඒකෙත් තියේනනේ...

    ReplyDelete
    Replies
    1. ඈ....අක්ක කිව්ව හින්දම ඒකත් බලන්න ඕනි .මම බලලානම් නෑ එක. බලමු බාගෙනම :)

      Delete
  14. කතාව කුතුහලය ඇතිවන ලෙස ලිවිම නම් සුපිරිය.දිග වැඩිකම කොට කරන්න ගියානම් කතාවට හානියක් වෙන්න තිබුන කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මටත් දිග වැඩියි වගේ හිතුනත් මීට වඩා කෙටියෙන් ලියන්න හිතාගන්න බැරි උනා...

      Delete
  15. හම්මේ ඇස් දෙක

    උඹම කියෝගන් මේක :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. හප්පේ.....මාර කතාවක් නොවැ ලියල තියෙන්නේ...හික්...නියමයි.නියමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්......නියමයි නම් නියමයි ඈ...

      Delete
  17. කතාව දිග වැඩි කියලා උඩ අය කියලා තිබුනට මමනම් ඔක්කොම කියවාගෙන ගියා..... අන්තිම වෙනකන් ඉතින් මුකුත් හිතා ගන්න බැරි උනානේ.. එත් මේකට ලගින් යන මොකක් හරි එකක් තියනවා කියලා මතකයි.. හිරු කිවා වගේ ෆිල්ම් එකක්ද මන්දා.... නමුත් ෆට්ට... හැමෝගෙම ජිවිතේ සල්ලි වෙලා දැන් නම්...

    ReplyDelete
    Replies
    1. මේකට ලගින්...ම්ම්ම්ම මාත් අර ෆිල්ම් එක බලන්න ඕනි...ඇත්ත හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. තමන්ට තමන්වවත් මතක නෑ..

      Delete
  18. දවස් දෙකක බ්ලොග් ලිස්ට් එක එක දිගට බලන් ඇවිත් ලාවට නිදි මතේ හිටියේ ඒක බලද්දි.. සුපිරියි බං මේ කතාව.. සිරාවට..

    ReplyDelete
    Replies
    1. ඈ...මේක කියොලා නිදිමත වැඩි උනාද මන්දා....තැන්කිව් ඈ...

      Delete
  19. මමත් කියෙවුවෙ දෙපාරකට ... හික්..
    අයියෝ සල්ලි...
    නියම කතාව තරුවෝ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඈ.....දෙපාරකට..හාකෝ....තැන්කිව් ඈ..

      Delete
  20. තරුවා...කියල වැඩක් නෑ... මට නම් සුපිරිම සුපිරියි...කුතුහලේ සියයට සීයක් තියනවා..කතාව කියවනකොට අගහරියට හොරෙන් ගිහින් බලන්න හිතෙනවා මොකද වෙන්නේ කියලා බලන්න. එත් එහෙම කලොත් කතාවේ රසේ නැති වෙන හින්දා දත කාගෙන කියෙව්වා. නියමයි තරුවා නියමයි. මට නම් උපරිමයි ....මේ කතාවේ තියෙන්නේ දෙබස් සිතුවිලි විතරයි නේද බං..



    සිතුම් පැතුම්

    ReplyDelete
    Replies
    1. හිකිස්....තැන්කිව් මචං....
      යා යා අනිවාර්යෙන්ම සිතුවිලි විතරයි...කලින් ඒවා වගේ නෙවෙයි... ;)

      Delete
  21. අද කාලේට ගැලපෙන්න නම් ලක්ෂ 100ක වත් චෙක් එකක් වෙන්න ඕන. ලක්ෂ 10ක් ලැබුන කියල මොන මිනිහද දැන් ගනන් ගන්නේ.

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත...මේ කාලේ ඔය ගානෙන් මොනවා කරන්නද....

      Delete
  22. අන්තිම වෙනකන් කියෙව්වෙ මොකද්ද යකෝ මෙ වෙන්නෙ කියල හිතාගන්න බැරුව....

    පව් කියල හිතුන බං අන්තිමට

    ටිකක් දිගයි වගේ තමයි ඈ

    ReplyDelete
    Replies
    1. ඇ...දිගයිද....
      හ්ම්...පව් තමා...

      Delete
  23. අනේ අම්මේ මේකේ දිග තරුවෝ ..තව ඩින්ගෙන් මට පිස්සු හැදෙනවා ..හික්

    ReplyDelete
    Replies
    1. ඈ..........ආයිත් අමුතුවෙන් හැදෙනවද... ;)

      Delete
  24. අයියෝ ගුනේ :D

    ReplyDelete
  25. අපේ පෑත්තේ කියපු නිසා ආව බලන්න ... හොද රචකයෙක්නේ

    ReplyDelete
    Replies
    1. ඈ...ඔව් නේන්නම් ඒ පැත්තෙලුනේ....තැන්කිව් ඈ...

      Delete
  26. දිගටම කියෙව්වා. මැදදී පැනලා යන්න හැදුවත් කතාවේ කුතුහලයයි අර මොකක්ද එක තියාගෙන ඉවර වෙනකන්ම කියෙව්වා. මැද බලන්නැතුව අගට ආවනම් රසයක් නෑනේ.

    නිර්මාණය අති විශිෂ්ඨයි. ඇත්තත් ඕකමයි. දාහක් අමතරව හම්බ උනොත් දහදාහක් වියදම් කරන්න සෙට් වෙලා. වෙලාවක මාව බලන්න 18 වාට්ටුව පැත්තේ වරෙන් බං.

    ReplyDelete
    Replies
    1. හිකිස්..තැන්කිව් ඇ....
      මේ..සුවර් එකටම 18 වාට්ටුවද...මම හිතුවේ 2 කියලා... ;) ;)

      Delete
  27. තා පොද්දෙන් කැලකිලා මගෙ ඔලුවත් වඩිනව........

    මරු කතාව....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...