Sunday, September 25, 2011

අමතක නොවෙන නිවාඩුකාලේ......!

ඔන්න ඉතින් කලින් පෝස්ට් වලට වඩා වෙනස් විදිහට මේ සැරේ ආවේ මට වෙච්ච සිද්දි ටිකක් අරගෙන.මේව මට පුංචිකාලෙදි..,ඉස්කොලෙදි...,සිද්ද වුනු ඇත්තම සිදුවීම්..!

ඉස්සෙල්ලම කියන්න යන මේ සිද්දිය මට උනේ මීට අවුරුදු කීපයකට උඩදි.ඒ කියන්නෙ මම ඉස්කෝලෙ අටේ පංතියෙ කාලෙ..ඒ කාලෙ අගෝස්තු නිවාඩුව ගතකරන කාලෙ.

ඉතින් ඔය නිවාඩු කාලෙ අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙකුත් නැවතිලා හිටියෙ අපේ ගෙදර.ඒ දවස් වල උදේ ඉදන්ම කලේ සෙල්ලම් කරපු එකම තමයි ඉතින්.අපේ ගේ පිටිපස්සෙ තියනව ලොකු වෙල් යායක්.මේ සරුංගල් කාලෙත් හින්ද අපි ගොඩක් වෙලාවට කලේ ඔය වෙලට ගිහින් සරුංගල් යවපු එක.


ඔන්න දවසක් අපේ ගෙවල් ගාව තව යාළුවෙකුත් අපේ ගෙදර ඇවිත් හිටිය.අපි තුන් දෙනා උදේ ඉදන්ම එක එක සෙල්ලම් කර කර තමා හිටියෙ..දැං වගේම ඒ කාලෙත් ක්‍රිකට් පිස්සුවනම් මදිනොකියන්න තිබුනා.ඉතින් අපි එදා හවස අපේ ගෙදර මිදුලට වෙලා ක්‍රිකට් ගගහා ඉන්නකොට අපේ බෝලෙ නැතිවුනා..කට්ටියටම දැං මාර අප්සට්.ඇයි සෙල්ලම් කරන්න පටන් ගත්ත විතරයිනෙ.හෆෝයි ඉතින් ඔක්කොම එපා වෙලා කරන්න දේකුත් නැතුව ඉන්නකොට මගෙ යාළුවට ආව හොද අදහසක්.දැං නම් මතක් වෙනකොටත් මේ වගේ ගොං වැඩ කලානෙ කියල හිතුනට ඒ වෙලාවෙදි ඒ ගැන කිසි බරක්පතලක් දැනුනෙ නෑ.

කොහොම හරි මෙන්න මේකය අපි කරපු වැඩේ.අපේ ගේ තිබුනෙ කොළඹ-රත්නපුර ප්‍රධාන පාර ගාවමයි.ඒහරියෙ පාර ටික දුරක් යනකම් කෙලින් තියෙන්නෙ.ඉතින් අපි කලේ ඈත වංගුවෙන් වාහනයක් එන සද්දෙ ඇහුනාම මිදුලෙ ඉදන් පාර පැත්තට පුංචි ගල්කැටයක් ගහනවා.ඉතින් මෙහෙම උඩට වීසි කරන ගල්කැටයක් ඒ එන වාහනේක වහලෙට වැටුනොත් අපිට මාර සතුටුයි.එතකොට ඒ ගල ගහපු කෙනා දිනුම්.ඔන්න ඕකයි අපේ සෙල්ලම.

ඉතින් කිසි අතුරු අන්තරාවක් නැතුව අපි මේ සෙල්ලම ටික වෙලාවක් කර ගෙන ගියා.ඔන්න එකසැරයක් වාහනයක් එන සද්දෙ ඇහුනා.ඒක මගෙ වාරෙ හින්ද මම පොඩි ගල් කැටයක් අරගෙන වාහනේ එන පැත්තට හයියෙන් උඩ ගැහුවා.ඒ වෙනකොටත් මම තමයි දිනල හිටියෙ මොකද වාහන දෙක තුනකටම ඉලක්කෙට ගහලා.කොහොම හරි දැං ගහපු එකත් වාහනේට වදින සද්දෙ ඇහුනා.අපිට මාර සතුටුයි.තව ගල් ටිකක් අරගෙන ඊලග එකටත් ගහන්නයි ලෑස්ති උනේ..

ටික වෙලාවක් යනකොට මිනිස්සු තුන්දෙනෙක් පාරෙ යන ගමන් අපේ ගේ ගාව නතරවුනා.එතකොටත් අපි තව වාහනේකට ගලක් ගහන්න හැදුව විතරයි.අර එක මනුස්සයෙක් මට කතා කලා.මමත් එතනට ගියා.ඒ මනුස්සයා මගෙන් අහපි ඔය ළමයිද පාරට ගල් ගැහුවෙ කියලා.මේක අහපු ගමන් මට හීන් දාඩිය දැම්ම.මට කටඋත්තර නෑ.මොනව කියන්නද.ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ.මගෙ කකුල් දෙක මැඩ්ලින් ගහනවා.
ඊට පස්සෙ තව මනුස්සයෙක් කිව්ව අන්න ඔය ළමයි ගහපු ගලක් වැදිල අපේ වාහනේ windscreen එක බිදිලා කියල.මගෙ උගුර කට වේලිලා..අනිත් දෙන්නගෙත් එහෙමයි..ඊට පස්සෙ ඔතනට අපේ තාත්ත ආවා.මගෙ යාළුවගෙ තාත්තත් ආව.අපි තුන් දෙනා හෙමින්ම ගෙට ගිහින් මූනත් බෙරිකරගෙන හිටියා..කොහොම කොහොම හරි එයාලගෙ windscreen එක හදාගන්න රැපියල් 6000 ක් දීල තමයි යන්තම් වැඩේ ෂේප් කරගත්තෙ..මේක ලියනකොටත් සිද්දිය මතක් වෙලා පපුව ගැහෙනවා.

අපි කොච්චර මොඩ වැඩක්ද කලේ..බැරි වෙලා හරි කාගෙහරි මනුස්සයෙක්ගෙ එහෙම ඇගේ වැදුනනම්.ඩ්‍රයිවර්ට වහනේ පාලනය කරගන්න බැරි වුනානම්.මතක් වෙනකොටත් බයයි..හැබැයි අපි තුන්දෙනාම ගොඩක් ලොකු පාඩමක් ඉගන ගත්ත ඒකෙන්..ඒ windscreen එකේ බිදුනු කෑලි ටිකක් අපේ අම්ම එකතු කරල තාමත් අපේ ගෙදර තියනවා..

ඔන්න ඔහොමයි ඒ නිවාඩුකාලේ මගෙ තවත් අමතක නෙවන දවසක් ගතවුනේ......!!!

7 comments:

  1. අප්පටසිරි !!!!
    මාර වැඩක් නේ කරලා තියෙන්නේ. සෙල්ලම ලෙල්ලම වෙලා. අන්තිමට අතිනුත් 6000ක් දෙන්න උනා.

    ReplyDelete
  2. අප්පා කස්ටිය මරු වැඩ තමා කරලා තියෙන්නේ..

    ReplyDelete
  3. @මධුරංග...හික්ස්..ඔහොම තමයි අයියා පොඩිකාලෙනේ......

    @ChammaA...හී හී...තැන්කූ..ChammaA

    ReplyDelete
  4. හෆ්ෆා.... අයියත් හරිම දගයෙක්නෙ..මාර වැඩ තමා කරලා තියෙන්නෙ. වෙන සෙල්ලමක් තිබ්බෙම නැද්ද ඇත්තට හා???

    ReplyDelete
  5. ඒකනෙ නංගි වෙන සෙල්ලමක් තිබුනෙම නෑනෙ අෆ්ෆා..............

    ReplyDelete
  6. අපිත් නුවර එළි ට්‍රිප් එකක් ගිහින් වාහනේ රෝදෙක පැච් එකක් ගිහින් ඒක මාරු කරනකම් අපි සෙට් එකක් උඩ ඉදන් පහළට ගල් විසි කර කර හිටියා. අන්තිමට තහඩුවකට වැටෙන සද්දේ ආවා.

    ටික වෙලාවකින් කැත්තකුත් අරන් මිනිහෙක් ආවේ නැතැයි කවුද යකෝ ගල් ගහන්නේ කියලා අහගෙන. පස්සේ තාත්තලා මාමලා කට්ටිය එකතු වෙලා අපිව බේරාගත්තා:))

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...